December 15, 2014

බෞද්ධ ස්තූපය

ස්තූපය

සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ අසීමිත ගුණ සමුදාය හා උන්වහන්සේ විසින් අවබෝධ කොට දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ මහ රජවරු, සිටුවරු, මැති ඇමැතිවරු පමණක් නොව දහස් ගණන් වූ ස්ත්‍රී පුරුෂ ජනී ජනයා පැමිණියේ උන්වහන්සේගේ දෙපා නැමද නමස්කාර කර බණ පදයක් අසා සැනසෙන්නටයි. එහෙත් සමහර දිනවල බුදුන් වහන්සේ හමුවීමට නොහැකිව පිටවූවෝ විශාලය. මේ නිසාම ඔවුන් ආපසු ගියේ බොහෝ කනස්සල්ලෙනි. සමහර අවස්ථාවල ආනන්ද තෙරුන් වහන්සේට පවා ඔවුන් ප්‍රකාශ කළේ තමන් පිටව යන්නේ කනස්සල්ලෙන් බව ය. බුදුන් පිදීමට ගෙන ආ පූජා ද්‍රව්‍ය ආරාම භූමියේ තැන තැන දමා තිබෙනු පෙනිණ. එය පරිසරය අසුන්දරත්වයට හේතු විය.
මේ නිසාම ගෞතම සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ඇසූ පැනයකට පිළිතුරු දෙමින් තමන් වහන්සේ නොමැති අවස්ථාවල හෝ නොමැති කාලයක සැදැහැවත් ආර්ය පුද්ගලයා විසින් ශාරීරික පාරිභෝගික හා උද්දේශික චෛත්‍යය වන්දනා කළ යුතු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.
මේ අනුව අප පළමුව වන්දනා කළ යුත්තේ ශාරීරික ධාතුන් තැන්පත් කර ඇති චෛත්‍යය රාජයන් බව පුරාණයේ සිට ම පැවත එන සිරිතයි.
 
වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේ සුපටිත්තිතං...
අප කාගෙත් වැඳුම් පිදුම්වලට ලක්වන දාගැබ, බෝධිය, පිළිම වහන්සේ විහාරස්ථානයක් සතු විශේෂ අංගයන් වේ. ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් හා චිත්‍රවලින් ලියකම්වලින් පරිපූර්ණ සියලුම කලාවන් මේ වටා රැඳී ඇත. එය බෞද්ධ නිර්මාණ කලාවයි.
බෞද්ධ නිර්මාණ කලාවේ මුලින්ම වැදගත් තැන හිමි වන්නේ දාගැබ හෙවත් චෛත්‍යය රාජයාණන් වහන්සේ වෙතටයි. දාගැබ යනු ධාතු - ගර්භයයි. එය චෛත්‍යයක හෙවත් ස්තූපයක් මූලික අංගයයි. චෛත්‍යයක් පිළිබඳව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී පවා නිති සඳහන් වී තිබෙනවා. රමණීය ගෝතම චෛත්‍යයන් වශයෙන් බුදුන් වහන්සේ පවා චෛත්‍යයන් වර්ණනා කර තියෙනවා. (මහා පරිනිබ්බාන සූත්‍රය) මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණයෙන් පසු සිදු කළ කේශ ඡේදනයේ කේශ ධාතු නිධන් කර ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව් ලොව සිළුමිණ සෑය බැන්ද බව සඳහන්,
සිළුමිණි සෑය වදිමි රම්‍ය තව්තිසා භවනේ... මේ ඒ පිළිබඳ ලියවුණු ජනපි‍්‍රය ගීතයක කොටසකි.
අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි අවධියේ බුද්ධත්වයට පත් උන් වහන්සේට සත් සතිය අවසානයේ දැහැටි හා මුව දෝනා පැන් පිළිගන්වා පසුව විලඳ මී පැණි දානයක් දී, බුදුන් දහම් සරණ ගිය ද්වවාචික උපාසකවරුන් වූ තපස්සු භල්ලුක දෙදෙනා විසින් අසූව තිරියාස නම් ස්ථානයේ බුද්ධ කේෂ ධාතු නිදන් කර ගිරිගඬු සෑය ගොඩනැඟූ බව 7 වන සියවසට අයත් සංස්කෘත ශිලා ලිපියකින් සනාථ වේ.
බෞද්ධ පුරාවෘතවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වන මස ලක්දිවට වැඩම කොට යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බවත් පසුව බුදුන් වහන්සේ සුමන සමන් දෙවියන්ට දුන් කේශ ධාතු නිදන් කර මහියංගන චෛත්‍යය ඉදිකළ බව සාසන ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු නාග විහාරය ද කැලණි චෛත්‍යය ද අප ලක්බිමේ ඉදිවී තිබෙනවා. ඒ කෙසේ වුවද ලක්දිව පිහිටුවන ලද ප්‍රථම ඓතිහාසික චෛත්‍යය වශයෙන් සලකනුයේ ථූපාරාම චෛත්‍යයයි. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිදන් කොට දෙවන පෑතිස් නිරිඳු විසින් මෙය කළ බව මහාවංශයේ සඳහන් වේ.
අපට නොයෙක් ආකාරයේ චෛත්‍යයන් දක්නට පුළුවන. ථූපාරාමය දඹදිව ස්ථූප ආකාරයක් පෙන්නුම් කළ ද චෛත්‍යයන් ආකෘතිමය වශයෙන්,
 
ඝණ්ටාකාරං - ඝටාකාරං
බුබ්බුලාකාරාං - ධාන්‍යාකාරං
පද්මකාරාං - ආමලාකාරං
ෂඩ්විධ චෛ්‍යය - ලක්ෂණමි
යනුවෙන් ඉහත ලක්ෂණවලින් යුතු බව සෙනරත් පරණවිතාන ශූරීන් ලංකා ස්ථූප ග්‍රන්ථයේ පෙන්වා දෙනවා.
ඝණ්ටාවක හැඩය (සීනුව), වතුර කලයක ආකාරය (ඝටාකාර), බුබ්බුලාකාර (දිය බුබුලක ආකාරය), ධාන්‍යාකාර (වී ගොඩක හැඩය), පද්මාකාර (නෙළුම් මලක හැඩය), අම්ලාකාර (නෙල්ලි ගෙඩියක හැඩය) වශයෙන් චෛත්‍යය නිර්මාණය වේ. (වෛජයන්ත ත්‍රන්තය)
ඝටාකාර, අම්ලාකාර හැඩයන් හැර ධාන්‍යාකාර, බුබ්බුලාකාර, ඝණ්ටාකාර හැඩයෙන් යුත් චෛත්‍යය ලංකාවේ දක්නට පුළුවනි. චෛත්‍යයන් පිළිබඳව පඬිවරු දාර්ශනික මත ඉදිරිපත් කරන අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන විද්වතාණන්ට අනුව ස්ථූපයකින් විශ්වය පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරයි.
ධාතු ගර්භය චෛත්‍යයක වැදගත්ම අංගයයි. ස්ථූපය ඔපවත් වන්නේත් මේ ගර්භය නිසයි. ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු මෙන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගර්භය තුළ නිදන් කරනවා. ගර්භය තුළ චිත්‍ර මඟින් ජාතක කතා නිරූපණය කර ඇති අතර, කලාත්මක ලෙසත් ශක්තිමත් ලෙසත් සකස් කිරීම ඉතා වැදගත්. රුවන්වැලි සෑ ගර්භය බුදු සිරිතේ විවිධ අවස්ථා රන්මුවා පිළිම මඟින් ගොඩනඟා ඇති බවත් එය සම්පූර්ණයෙන්ම චිත්‍ර හා ප්‍රතිමාවලින් හා පූජ්‍ය භාණ්ඩ ආදියෙන් ඔපවත් වූ බවයි පැවසෙන්නේ. ගර්භය තුළින් නිරූපණය කිරීමට උත්සාහ ගන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කළ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම බවයි. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම්, (1) සතර සතිපට්ඨානය - 4 (2) සතර සම්‍යයක් ප්‍රධාන - 4 (3) සතර සෘද්ධිපාද - 4 (4) පංච ඉන්ද්‍රිය ධර්ම - 5 (5) පංච බල ධර්ම - 5 (6) සප්ත බෝජජංග ධර්ම - 7 (7) ආර්ය අෂ්ඨාංගික මාර්ගය - 8 එකතුව 37 ක් වෙනවා. (මේවා නැවත වෙන් වෙන් වශයෙන් බෙදා දැනගන්නට ආර්යශ්‍රාවක ඔබ උත්සාහවත් විය යුතුයි.)
හතරැස් කොටුව චෛත්‍යයකට තවත් වැදගත් කොටසකි. ධාතූන් වහන්සේලා මෙහිදී නිධන් කිරීම පෙර සිට එන සිරිතකි. හතරැස් කොටුවෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන සිව්වනක් පිරිස උතුම් වූ සෝවාන් ඵල හා මාර්ග ලබා නිවන් මඟට පිවිසෙන බවයි. නැතහොත් පින් බලෙන් සදෙව් ලෝකවල හා බ්‍රහ්ම ලෝකවල උපත ලබන බවයි.
ඉන්දීය චෛත්‍යවල දේවතා කොටුවක් දක්නට නැහැ. ඒ වෙනුවට ජාත්‍රාවලියකුයි ඇත්තේ. හතරැස් කොටුවෙන් සිව්වනක් පිරිසට උපකාරී වන්නා වූ සදෙව් ලෝක හා බ්‍රහ්ම ලෝකත් දේවතා කොටුවෙන් අරූපාචාර බ්‍රහ්ම ලෝකත් නිරූපණය වෙනවා.
සදෙව් ලෝක වන්නේ, (1) චතුර් මහා රාජිකය (2) තාවතිංසය (3) යාමය (4) තුසිතය (5) නිම්මාන රතිය (6) පරනිම්මිත වසවර්තියයි.
බ්‍රහ්ම ලෝක 16 ක් ගැන් ධර්මයේ සඳහන් වෙනවා. ඒවා නම්,
ප්‍රථමඣානය - 1) බ්‍රහ්ම පාරිසජ්ජය, 2) බ්‍රහ්ම පුරෝහිතය, 3) මහා බ්‍රහ්මය
ද්විත්‍යඣානය - 4) පරිත්තාභය 5) අප්ප මාණය 6) ආභස්සරය
තතියඣානය - 7) පරිත්ත සූභය 8) අප්පමාන සූභය 9) සුභ කිරණය
චතුර්ත්‍යතඣානය - 10) වේහප්පලය 11) අසඤ්ඤසන්නය
පංචමපඣානය - 12) අභවිය 13) ආතපපය 14) සුදත්තිය 15) සුදස්සිය 16) අකනිට්ඨය
මෙයට අයත් වෙනවා. දේවතා කොටුවෙන් අරූපාවචර භූමි සංකේත වන බවයි වියත් මතය. ඒ අනුව රූපවචර භූමි නම් වූ,

1) ආකසඤ්ඤායතනය
2) විඤ්ඤාණායතනය
3) ආකිඤ්ඤායතනය
4) නේවසඤ්ඤා නාසඤ්ඤායතනය
දේවතා කොටුව සතර පැත්තේ සමහර ස්ථූපවල දේව රූප හතරක් දැකිය හැකියි. එයින් (1) විරුඩ (2) විරගුපාක්ෂිත (3) ධෘතරාෂඨ (4) වෛශ්‍රමණ යන සතර වරම් දෙවිවරු නිරූපණය වේ. පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව කොත් කැරැල්ලේ නවාංග ශාස්තෲ සාසනය පිළිබිඹු වේ. (1) සූත්‍ර (2) ග්‍යොස (3) ව්‍යාකරණ (4) ගාථා (5) අදාන (6) ඉතිවුත්තක (7) ජාතක (8) අත්භූත ධම්ම (9) වේදල්ල යනු නවාංග ශාස්තෘ ශාසනයයි. එහෙත් කොත් කැරැල්ල සිලින්ඩරාකාර රවුම් 8 කින් යුක්ත නිසා සෝවාන් ආදී ඵල එම අංග අටයි. ඉන් පසු අපට දිස්වනුයේ කොතයි. කොතෝ හැඩරුව අනුව එහි කොටස් දෙකක් දැකිය හැක. නිවනේ ද ක්‍රම දෙකක් දැකීමට පුළුවන්. 1) සෝපාදිශේෂ පරිනිර්වාණය (පංචස්කන්ධය තිබියදී කෙලෙස් ධර්ම යටපත් කරමින් ලබන නිවන) 2) අනුපාදිශේෂ පරිනිර්වාණය (පංචස්කන්ධයේ සියලු කෙලෙස් ධර්ම යටපත් කරමින් ලබන නිවන) (පරිනිර්වාණයේ උචිත අවස්ථාව නිර්වාණය) පරිනිර්වාණය (පංචස්කන්ධයේ සියලු කෙලෙස් ධර්ම යටපත් කරමින් ලබන නිවන) (පරිනිර්වාණයේ උචිත අවස්ථාව නිර්වාණය) පරිනිර්වාණයේ උචිත අවස්ථාව නිර්වාණය හෙවත් නිවනයි. ස්තූපයේ ඉහළින්ම ඇත්තේ චූඩා මාණික්‍යයයි. එයින් නිවන පිළිබිඹු වෙනවා. වාන යනු තෘෂ්ණාවයි. නි යනු නික්මීමයි. තෘෂ්ණාවෙන් නික්මීම නම් නිවනයි. ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදා සැපත නිවන චූඩා මාණික්‍යයෙන් පිළිබිඹු වෙනවා. අප ස්තූප පරීක්ෂා කර බැලීමේදී සමහර ස්ථූපවල ගර්භය ඉහළින් බෝපත් හතරක් දැකිය හැකියි. එයින් සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා) ත්, හතරැස් කොටුවේ ඉර හඳ ලකුණුවලින් ඉර හඳ පවතින තාක්කල් මේ චෛත්‍යය පවතීවා යන්න ද, සමහර විට නෙළුම් මල් වලින් බුදු දහමේ පවිත්‍රතාවය හා විනිවිද භාවය ද දැක්වෙනවා. ආසනය හතර පැත්තේ හෝ චෛත්‍යය වටා ලියවැල් සහිත සිංහ මුහුණු දැකිය හැකියි. ලියවැල් වලින් සසර බැඳ තබන බැමි ද සිංහ මුහුණු වලින් මෙම බැඳීම් බුදු දහමට අනුව කඩා බිඳ තැබිය හැකි බව ද කියනවා. ස්ථූපය වටා මල්කම් ලියකම් වලින් යුක්තව වාහල්කඩ දැකිය හැකියි. ඊට අමතරව කොරවක් ගල් පඩි පෙළ, මුරගල්, සඳකඩ පහණ ආදියෙන් යුත් අංගෝපාංග සමඟ ස්ථූප නිර්මාණය ධර්මාර්ථ රැසක එකතුවක් වී පෘථග්ජන මිනිසාට යම් පණිවිඩයක් දීමට බෞද්ධ කලාකරුවා සමත් වී තිබෙනවා. එබැවින් එම පරමාර්ථ අවබෝධ කරගෙන මේ බියකරු සසර කතරින් එතෙර වීමට වීර්යයෙන් යුතුව අදිටන් කළ යුතු බවයි පැවසිය හැක්කේ.
ලංකාවේ ධාන්‍යකාර හැඩය ගත් චෛත්‍යයවලට හොඳම උදාහරණය කැලණිය චෛත්‍යයයි. දිවයිනේ විශාලතම ස්ථූප සියල්ලම පාහේ බුබ්බුලාකාර බව පෙනේ. රුවන් වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, තිස්සමහාරාමය, පොළොන්නරුවේ කිරි වෙහෙර මේ අතර ප්‍රධානයි. ථූපාරාමය ධාන්‍යාකාර හැඩයෙන් යුතුව මිහිඳු හිමියන්ගේ උපදෙස් අනුව ගොඩනැඟුවත් පසුව කළ ප්‍රතිසංස්කරණ නිසාදෝ එය දැනට ඝණ්ටාකාර හැඩයක් ගන්නවා. ලංකාවේ ඝටාකාර, අම්ලාකාර හා පද්මාකාර හැඩයේ චෛත්‍යය දක්නට නැහැ. තායිලන්තයේ (වත් කී ඕ) චෛත්‍ය ඝටාකාර හැඩයේ චෛත්‍යයක්. මෙයට වඩා වෙනස් ආකාර චෛත්‍යය මියන්මාරය, ටිබේටය හා තායිලන්තයේදී දැකිය හැකියි.
චෛත්‍යයන් ගැන කතා කරද්දී මෙයට වඩා වෙනස් වූ මතයක් ද තිබේ. ශාස්ත්‍රවේදී පණ්ඩිත මාලගම්මන චන්ද්‍රජෝති නායක ස්ථවිරයන් වහන්සේ මහ බෝ විත්ති නම් ග්‍රන්ථයේ සඳහන් කරන්නේ චෛත්‍යය නිර්මාණය සිදුවුණේ බුද්ධ කාලයේ පටන් වැඳුම් පිඳුම් ලැබූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පත්‍රයක හැඩය අනුව නිමවූ බවයි. උන් වහන්සේගේ මෙම අදහස සමාජ ගත නොවුණත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම වඩා වැදගත් වෙනවා.
අප ශ්‍රී ලාංකික කලාකරුවා යම් දෙයක් කළේ ආවාට ගියාට නොවේ. එහි යම් අර්ථයක් නිරූපණය කරන්නට උත්සාහ කළා. කිසිම දෙයකට නොඇලී නොගැටී සිත එක අරමුණක තබා ක්‍රියා කළ බෞද්ධ ලාංකික කලා ශිල්පියා චෛත්‍යය නිර්මාණයේදීත් යම් යම් අදහස් එක්ක ව්‍යංග්‍යාර්ථයක් ගැබ් කර තිබෙනවා. අප යම් කලා කෘතියක් පුරා විද්‍යාත්මකව වන්දනීය ස්ථානයකදී නැරැඹීමේදී හා චෛත්‍යයක් නිරීක්ෂණය කිරීමේදී ඒ පිළිබඳව විමසිලිමත් වීම වැදගත් ස්ථානයක් ගනී. මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශාස්ත්‍රය, වෛයන්ත තන්ත්‍රය, දාගැබ් බැඳීමේ ලක්ෂණ, නම් වූ පුස්කොළ ග්‍රන්ථ මෙහිදී කැපී පෙනේ. සමහර අවස්ථාවලදී ස්ථූප ස්මාරක ලෙස ද ඉදිකළ බැව් පෙනේ. උදාහරණ වශයෙන් 1 වන පරාක්‍රමබාහු රජු උපන් ස්ථානයේ දැදිගම සුතිසර චෛත්‍යය හා එතුමාගේ දකුණු ඉන්දීය ආක්‍රමණය සිහිපත් කිරීම පිණිස පොළොන්නරුවේ දෙමළ සෑය ද කරවා ඇත. ස්ථූප නිර්මාණයේදී වෛජයන්ත තන්ත්‍රයේ සඳහන් වනුයේ,
 
ථූපෙසු තාරං කාත පංච භාගං
ගුණම් පමාණං චතුවීස භාගං
ත්‍රීමාල පංචාර්ධක ගර්භම අෂ්ටං චතුරු සුර කෝෂඨ
යුගාර්ත යුග්මං - ගග්තාන්ත කුත් නම් පුනර් අර්ධ ජන්තත්‍රං - චන්නිකි වේන: මුනහි
පුණායයි, සුදුසු භූමියක් තෝරා ගැනීම අනුපාංගල, සාධාරණ හා දුමුක යනුවෙන් ස්ථූප සෑදීමට සුදුසු භූමි 04 ක් නම් කොට ඇත. තෝරා ගත් භූමියේ මිනී ඇට කටු ආදී අසුද්ධ දේ නොතිබීම ද වැදගත් බව පෙන්වා දී ඇත.
01. සළපතල මළුව
චෛත්‍යයක් ඉදිවීමේදී ඒ වටා සළපතල මළුව ඉදිවෙනවා. සමහර විට මෙය ඉතා විශාල භූමි පෙදෙසක්. ස්ථූපයක ස්ථාවර පැවැත්ම සඳහා සළපතල මළුවෙන් සිදුවන්නේ විශාල කාර්යයක්. බැතිමතුන් චෛත්‍යය වන්දනාවේදී එකතු වන්නේ සළපතල මළුවටයි. සළපතල මළුව විවිධ හැඩතල වලින් යුත් විවිධ වූ ගල් අතුරා මෙය ඉදි වී තිබෙනවා. පෘථග්ජනයා කර්ම ශක්තිය අනුව සසර ඉපිඳ ඇති අයුරු දිග හා කෙටි ගල් තලා වලින් නිරූපණය වෙනවා. සලපතළ මළුවේ දිග හා පළලින්, අන්ධ වූ පෘථග්ජනයාගේ දීර්ඝ වූ පැතිරුණු සංසාරය සංකේතවත් කරන බවයි පුරා විද්‍යාඥයන්ගේ අදහස.
02. ආසනය
ඇතැම් ස්ථූපවල පොළොවෙන් අඩි කිහිපයක් උසට තනා ඇති බව පෙනෙනවා. මේ ආසන මල් පූජා කිරීමට ගත්ත ද එයින් ද ධර්මානුගත කරුණක් ඇති බව විද්වත් මතයයි. එනම් සුවාසු ධර්මස්කන්ධය එයින් නිරූපණය වෙන බවයි පැවසෙන්නේ.
 
ද්වාසිනිං බුද්ධතෝ ගණාහිං
ද්වේ සහස්සානි භික්ඛුතෝ
චතුරාසිහි්‍ය සහස්සානි
යේ ධම්මා පවත්නිතෝහි...
අසූ දෙදහසක් ධර්මස්කන්ධය බුදුරජාණන් වහන්සේගෙන් ද දෙදහසක් ධර්මස්කන්ධය භික්ෂුන් වහන්සේලාගෙන් ද වශයෙන් ගෙන අසූ හාරදහසක් ධර්මස්කන්ධය ගොඩනැඟී ඇති බව ය පැවසෙන්නේ,
චෛත්‍යය නිර්මාණයේදී තුන් මහල් පේසාවට ප්‍රධානත්වයක් ලැබෙනවා. මුල් යුගයේදී පේසාවන් වෙන් වෙන්ව නොතිබුණත් පසුව වෙන් වෙන් වශයෙන් පෙන්වා තිබෙනවා. මුල් යුගයේ මේ පේසා දාගැබ පිටට නෙරා ඇති ආකාරයට නිර්මිතව තිබුණා. එහිදී එය පාවිච්චි කළේ මල් පහන් පිදීම සඳහායි. තුන් මහල් ලෙස පසුව නිර්මාණය වූ මෙය ත්‍රිවිධ රත්නය (බුද්ධ ධර්ම සංඝ) නිරූපණය කරන ලෙස ගොඩනැඟූ බවයි හැඟෙන්නේ. සමහරු පවසන්නේ මෙය ශීල, සමාධි, ප්‍රඥා නිරූපණය කරන බවයි.
මෙලොවට බිහි වූ ඇසිල්ලේ සිටම අප බෝසතාණෝ තෛ‍්‍රයිලෝක වාසීන්ගේ ගෞරවාදරයට ප්‍රජාවට සුදුසු වූ සේක. උන් වහන්සේ වෙනුවෙන් පළමු ශාරීරික චෛත්‍යය සිළුමිණ නමින් තව්තිසාවේ ඉදි වූ අයුරු පාලි දාඨාවංශයේ සඳහන් වනුයේ මෙසේය. බෝසතාණෝ තම කේශ කලාපය සිඳ අහසට විසි කළ කල්හි සක්‍ර දේවේන්ද්‍රයා එය රන් කරඬුවකින් පිළිගත් බවත් (වර මොලී බන්ධනං - සිනා සිලුනං ගගනෙ සමක් බිජි) එය රැගෙන තව්තිසාවේ චූලා මඟ හෙවත් සිළුමිණ සෑය බැන්ද බවත්,
 
පටිග්හෙත්වා තිදසාන මිස්සරෝ
සුවණ්ණ වං ගොටවරෙන තං නදා
නියෝජනං නිලමණිහි චේතියං
අකාසි චූලා මාණිමත්තනො පුරේ
ඉන් පසු ඝටිකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිළිගන්වන ලද අටපිරිකර පිළිගත් බෝසත් තුමා එය හැඳ පොරවා තමා හැඳි වස්ත්‍ර අහසට විසිකළ කල්හි එය රැගත් මහා බ්‍රහ්මයා පළමුවන පාරිභෝගික චෛත්‍යය බ්‍රහ්ම ලෝකයේ දුස්ස නමින් ඉදිකළ බව පාලි දාඨාවංශයේ පෙන්වා දෙනවා.
එහෙත් තථාගතයන් වහන්සේ කෙනකු වෙනුවෙන් දාගැබ් ඉදිකළ හැක්කේ බුද්ධ පරිනිර්ණයෙන් පසුවයි...
ආනන්ද ශාරීරිකං නසන්නා තකුහි බුද්ධානං පරිනිබ්බුත කාලෙ හොති. උද්දේසිකං අවත්ථකං මමාය හමන්තමෙව හොති. පාරිභෝගික චෛත්‍යය පමණක් තථාගතයන් වහන්සේ ජීවාමනව වැඩ සිටි කළ ඉදිකළ හැකි බව පැවසෙනවා. නමුත් උන් වහන්සේ ජීවමාන කාලයේදී කේෂ ධාතු තැන්පත් කළ චෛත්‍යය ඉදිවූ අන්දම පාලි සාහිත්‍යයේ දැක්වෙනවා.
බටුගොඩ

එම්. එස්. රණතුංග

සිංහල අළුත් අවුරුද්දේ කෙළි සෙල්ලම්

සිංහල අලුත් අවුරුද්ද හැඩ වැඩ කළ කෙළි සෙල්ලම්
අපට එදා අවුරුද්ද උදා වූයේ පාසල් නිවාඩු දුන් දා සිට ය. මුළු මාසය ම අපට සෙල්ලම් කාලයකි. ඇති තරම් දහඩිය දමන තෙක් අපි සෙල්ලම් කළෙමු. ඇතැම් දිනවල ළඳුකැලෑ, කඳු මිටියාවත්, ඇළ දොළ, මුහුදු වෙරළ සහ ඉපනැල්ලක් ඇති කුඹුරු යාය ද අට කෙළි බිම් විය. ඒවා ඇසුරෙන් අප උගත් පාඩම් ද බොහෝ ය. නිහඬව වුවද අපේ ළමා කාලයේ දී කුරුල්ලන්ගේ සතා සිවු පාවුන්ගේ හැසිරීම් රටා, ගහ කොළ වැඩෙන සැටි අපට කියා දුන් පාඩම් බොහෝය. උස අඹ ගහකට පොල්ලකින් ගසා කඩා ගෙන කන අඹ ගෙඩියක, කජු පුහුලමක රස වින්දෝ කා සමඟත් බෙදා හදා ගෙන ය.
අවුරුදු කාලයට හැම ගෙදරක ම ඔන්චිල්ලාවකි. කුඩා දරුවන් සිටින ගෙදරක ගහක අත්තක බැඳි ඔන්චිල්ලාවකි. අපේ ගෙදර නම්, පොල් ගස් දෙකක් හරහා බැඳගත් පුවක් කඳක ලොකු ඔන්චිල්ලාවක්, ගෙදර ම අඹරාගත් ලනු කඹ වලින් බැඳ තිබුණි. ඔන්චිල්ලාවේ නැඟී ඔන්චිලි වාරම් මේ ගෙදර කියන විට අල්ලපු ගෙදර ද ඔන්චිල්ලාවේ පදින දරු දැරියන්ගේ වාරම් හඬ ගම පුරා රැව් දෙනු ඇත. ඔන්චිල්ලාව ගැන කියන කොට මඩොල් දූව පොතේ එන උපාලි ගිනිවැල්ල, ඉස්කෝලෙ හාමිනේගේ සාරි වලින් බැඳ ගත් ඔන්චිල්ලාවක් ද මගේ මතකයට නැඟේ. කුඩාම දරුවන්ට නම් සාරි, කම්බා, ඇඳ ඇතිරිලි වලින් ගෙදර යටලීයේ බැඳුණු ඔන්චිල්ලා විය.
අපේ ගමේ ප්‍රසිද්ධ වූයේ කතුරු ඔන්චිල්ලාව යි. වඩු මාමා රාහු කාලය හසු නොවන සේ හොඳ හෝරාවක් බලා දෙවියන් බුදුන් වෙත මල් පැලක් සාදා පින් පෙත් දී අතුරු ආන්ත්‍රාවක් නොවේ යයි පතමින් කතුරු ඔන්චිල්ලාවට මුල පුරයි. පුවක් පටි, ගොක් කොළ වලින් හැඩ වැඩ වූ කතුරු ඔන්චිල්ලාවේ මැද ඇක්සලයට කරක්ත රෝදයේ බොස් ගෙඩිය ට සමාන මෙවලමක් විය. වඩු මාමා ඒ පළාතේ ම විශේෂඥ කරත්ත බාස් කෙනෙක් වූ බැවින් මේ කතුරු ඔන්චිල්ලාව හැදීමේ තාක්ෂණය ඔහු හොඳින් දැන සිටියේ ය. රෝදය පහසුවෙන් කර කැවීමට මිනිරන් යොදා තිබිණි. එහි මැද කොටස අයකු පාගන විට ඔන්චිල්ලාව කර කැවෙමින් පැද්දෙයි.
කතුරු ඔන්චිල්ලාව පදින විට කියන ඔන්චිලි වාරම් හරි අපූරුය. ඔන්චිල්ලාව පදින අයුරු කියන මේ වාරම ඉතා ලස්සනට ඇද පැද කියන්නට හැකි ය.
අට කොන අට දෙන වාඩි වෙයල් ලා
සිට ගෙන දෙන්නෙක් පොලු පාගල් ලා
වවුලන් ලෙස කැරකෙන ඔන්චිල් ලා
අපිත් පදිමු දැන් රන් ඔන්චිල් ලා
අපේ ගම් වල කොයි දේටත් ප්‍රථම තෙරුවන් නැමදීම සිරිතකි. ඔන්චිල්ලාව පදින්නට ගොස් මුලින්ම කියන්නේ තෙරුවන් නමදින වාරමකි.
බුද්ධං සරණේ සිරස දරා ගෙ න
ධම්මං සරණේ සිත පහදා ගෙ න
සංඝං සරණේ සිවුරු දරා ගෙ න
මේ තුන් සරණේ පිහිට පතා ගෙ න
අවුරුද්ද, ග්‍රහයන්, සූර්යයා, මිහිකත ද සිහිපත් කරන නැකැත් උත්සවයකි. නැතහොත් සූර්ය මංගල්‍යයකි. ඔන්චිල්ලාවට නැඟ පළමු කවිය ආගම සිහිකර දෙ වන කවිය අනිවාර්යයෙන් ම කියනුයේ ග්‍රහ වස්තූන්ට ය.
සරණයි සරණයි හිරු දෙවි සරණ යි
සරණයි සරණයි සඳ දෙවි සරණ යි
සරණයි සරණයි මිහිකත සරණ යි
සරණයි සරණයි මේ තුන් සරණ යි
සිංහල අවුරුද්දට අපේ ගම්වල තරුණ කාන්තාවන් ද ඔන්චිලි පැදීමට පුදුම ආශාවක් දක්වති. අපට මතක හැටියට ගවුමට උඩින් චීත්තයක් ඇඳගත් අපේ අක්කලා නංගිලා නැන්දලා පුංචි අම්මලා සතුට සොම්නස ගම පුරා පැතිරෙන්නට වාරම් කියමින් අලුත් අවුරුද්දේ නැවුම් බවත්, වාසනාවත් පැතිරවූහ. ඇතැම් වාරම් කවි වල ළඳුන් සඳහා විශේෂයෙන් උපදේශ ඇතුළත් විය.
දිලෙන දසන් යුතු මුතු පෙළ සදි සී
සොබව රුසිරු දෙවඟන මෙන් දිලි සී
තරුණ ළඳුනි නුඹලා සබ පිවි සී
පදින ලෙසට එනු නොමැලිව සැර සී
පදින කලට අඟනන් ඔන්චිල් ලා
අඳින සළුව තද කර ඇඳපල් ලා
තදින අතින් වැල් අල්ලා ගල් ලා
සොඳින වරල බැඳගෙන පැදපල් ලා
තරුණ ළඳුන් ඔන්චිල්ලා පදින දෙස බලා සිටින පිරිමින් ගැන කියැවුණු වාරම් ද ඇත.
දෙසවන් රන් තෝඩුත් ගවසා ගෙ න
තොසමන් සළෙලුන් දෙස නොබලා ගෙ න
හසඟනවන් ළඳ ලියෙකි සොබා ගු න
ඇස නොබලා වෙනතක පැදපන් දැ න
බඳුවද පෙති වන් මුකය දිලෙන් නේ
විදුදර මැව් රන් රුව විලසින් නේ
ඇස ඇර සළෙලුන් වෙත නොබලන් නේ
ළඳුනේ ඔන්චිල්ලා පැද පන් නේ
ඔන්චිල්ලා පදින විට කුඩා ළමයින් නිතර කියන වාරම් ද විය.
ඔංචිලි චිලි චිල්ල ම ලේ - වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්න බැරි කටු අකුලේ - කඩා දියන් මගේ මලේ

ඔන් චිලි චිල්ල මලේ - වැල්ල දිගට පුවක් මලේ
නැන්දලාගෙ කොස් වත්තේ එක ගෙඩියයි පල ගත්තේ
ඒක කන්න ලුණු නැත්තේ ලුණු මිනිහා ගම නැත්තේ
මේ අයුරින් වාරම් කියද්දී තරමක නොගැළපෙන වාරමක් ද කුඩා කල අපට අසන්නට ලැබුණි.
ඔන්චිල්ලාවේ දෙන්න නැගී ලා
දෙන්නගෙ කෝලම කඩා වැටී ලා
ඒක බලන්නට කොල්ලො පිරී ලා
............................
තුන් වන පදයට පසු ඉවතට ආ වඩු මාමා මෙහෙම කතාවක් කීවේ ය.
දරුවනේ... ඔය මොනවද කියන්නෙ.. මෙන්න මෙහෙම ලෝවැඩ සඟරාව කියාපල්ලා
පුංචිම පුංචි පුටුවක් ගෙනැවිත් වාඩි වී ලෝවැඩ සඟරාව බලමින් වඩු මාමා පදයක් කී විට කුඩා අපි මහ හයියෙන් ඒ තාලෙටම කීවෙමු. කොහොමත් අවුරුද්ද අවසන් වන විට ඔන්චිලි පදමින් කියූ ලෝවැඩ සඟරාවේ කවි දහයක් පහළොවක් ම අපට කට පාඩම් වී තිබුණි. එය ඒ කාලයේ වැඩිහිටියන්ගේ ආදර්ශවත් චර්යා විශේෂයක් බව දැන් අපට වැටහේ.
ඔන්චිල්ලාව මෙන් ම අවුරුදු කාලයට ගමේ පන්දු පිටිය ද වැදගත් තැනකි. පොල් රුප්පාවක පොල් ගස් පේළි දෙකක් අතර පන්දු පිටිය සැකසුණි. ගම මැද පිහිටි මේ ඉඩම අවුරුදු කාලයට පන්දු පිටියක්, සෙල්ලම් බිමක් විය. එළුවන් ගන්නේ, ලී කෙලි නැටුම් නටන්නේ, කොටු පනින්නේ ද මෙහි ය. ඡන්දෙ කාලයෙ හැම පක්ෂයකම ඡන්ද රැස්වීම් තියන්නේත් රජයේ චිත්‍රපට පෙන්වන්නේ ද මේ බිමේ වීම විශේෂයකි. අද කාලයේ වගේ ප්‍රජා ශාලා, පොදු රැස්වීම් හල් නොතිබූ ඒ කාලයේ මේ බිමේ අයිතිකරු විසින් ඒවා ප්‍රජාවට අනියමින් පරිත්‍යාග කර තිබුණේ පොල් මුරේට පොල් පමණක් කඩා ගනිමිනි.
පන්දු ගැසීමට පන්දුවක් සකසන්නේ ඒ පිළිබඳ විශේෂ හැකියාවක් ඇති කෙනෙකි. කුඩා ගෝලාකාර ගල් කැටයක් ගෙන ඒ වටේට සරොම් පටි ඔතනු ලැබේ. ඒ කාලයේ මැහුම් ගෙදර ඕනෑ තරම් සරොම් පටි තිබුණි. මෙසේ සරොම් පටි ඔතා ගැනීමේ දී ඒ මැද්දට ලුණු සහ ගොරක එකට තලා ගත් තලියක් මැදට තබා තිබුණි. ඒ නිසා පහරක් වැදුනත් හානියක් නොවේ. ලොකු දොඩමක් තරමට වෙලා ගත් බෝලය වටා හණ නූලෙන් මැස්මක් දමා සම්පූර්ණයෙන් ම ගෙත්තමක් ලෙස හොඳට සවිමත් ව තිබුණි.
පන්දු ගැසීමේ දී පිල් දෙකකි. සම ශක්ති මට්ටමේ පිරිමි දෙදෙනා බැගින් එකතු වී දෙපාර්ශ්වයට සම්භාවී ලෙස බෙදා ගනු ඇත. ක්‍රීඩාවට පුහු පොල් ගෙඩි දෙකක් බිම තබා ඒ උඩ මට්ටය නම් කෝටු කැබැල්ලක තබා ඇත. දැන් එහි සිට දෙපාර්ශ්වයෙන් ම සම්මත කර ගත් දුරක සිට අර පුහුගෙඩි දෙකට එල්ල කොට පන්දුව එවයි. පන්දුව එක් වරක් බිම වැදී අනෙක් පාර්ශ්වය අල්ලා ගතහොත් පුහු කට්ටලය ළඟ සිට කඩා දමා එක් අයකුª දැවිය හැකිය. එක එල්ලේම ගසා ද දැවිය හැකිය. එය අසීරු වැඩකි. ඇතැම් විට බිම දිගේ පන්දුව ඉලක්ක කර ආවත් නොවැදී අනෙක් පාර්ශ්වයට ගිය විට කකුලක් පෙරට තබා පන්දුව කරට උඩින් ගොස් බිම වැටෙන විට අල්ලා ගත හොත් අයකු දවන්නට හැකි ය. ඉක්මනින් ක්‍රීඩකයන් දැවුණාට පසු ඒ පිල පරාද වෙයි.
පරාද පිලට පරාදය පිළිගෙන පුහු ගෙඩි දෙක තියෙන තැන උක්කුටකයෙන් වාඩි වන්නට සිදුවෙයි. ජයගත් පිලේ නායකයා මට්ටය අතට ගනී. ඔහු පසු පස රවුමට ජයගත් පිල යනු ඇත. මෙන්න මෙහෙම කවි කියනු ඇත.
ආ.... වඩා.... ආයු බෝ.... වේවා
අනෙක් අය නායකයා අනුකරණය කරනු ඇත.
හෝ... ජල්ලියා.... ජල්ලි.... ජකිරි ජල්ලියා
මුන් සැමට ම ජල්ලියා....
පොරණ සිටන් පන්දු කෙළියෙ මහසම්මත මුල
එතැන සිටන් පන්දු නෙළියෙ අපේ මුත්තො පෙ ළ
අප සමඟින් පන්දු කෙළල දිනයි ද තොප බො ල
හෝ ජල්ලි ජල්ලියා - මුන් සැමට ම ජල්ලියා
නැවතත් ආවඩා කවි වෙනත් තාලයකට ගායනය කරනු ඇත.
එල්ලි ඇවිත් බුහු කෙළියේ පැර දීලා
මල්ලි මොකද දැන් ඉන්නේ අඬාලා
ආල වඩන ඉලන්දාරි බුහු කෙළියෙන් පැර දීලා
කෝල සිතින් බිම ඉඳ ගෙන පරාද බව වැටහීලා
බාල කුඩා ළමා පිරිස වටේට සිට කැරකීලා
ලාල ලල්ල බුහු කෙළියේ රිසි අරවමු එක් වීලා...
නැවතත් ආවඩන්නේ බරපතළ විහිළු තහළු කරමිනි.
මූට නමක් තියාපියෝ
බකමූණයි කියාපියෝ
මූට නමක් තියාපියෝ
බඩ ගෙඩියයි කියා පියෝ
මෙහෙම විහිළු කර අවසානයේ දී මන්තරයක් මෙන් මතුරා නැගිටින්න කියනු ඇත. ඕං.. රීං.. කට්ටු කට්ටු.. ඊළඟ පන්දු වාරයේ දී සියලු දෙවි දේවතාවුන්ගේ අනුහසෙන් ජය ලැබේවා කියා අසුර සන් තුනක් ගසා කවුරුත් සිනහ මුහුණෙන් ඊළඟ වටය හෝ අවසන් වටය නිම කරනු ඇත.
අවුරුදු කාලයට සවස් යාමයේ සඳ එළිය ඇති විටෙක ලී කෙළිය පටන් ගනු ඇත. අඩි එක හමාරක් පමණ කිතුල් ලීයෙන් සෑදූ කුඩා පොලු විශේෂයක් මේ සඳහා ගනු ලැබේ. මේ පොලු අවුරුද්දක් ම දුමක දමා තිබී සිංහල අවුරුද්දට පෙර හොඳට සෝදා ගැනේ. ලී කෑල්ලෙන් කෑල්ල ගටමින් තුන් සරණේ හෝ ලෝවැඩ සඟරාවේ කවි කියමින් ගම පුරා පාරවල් වල ඇවිදීම මෙහි පිළිවෙළයි. විවිධ ගමන් තාල, රටාවකට නැවෙමින් දිග හැරෙමින් රිංගමින් කරන ලී කෙළිය ද මුළු ගමම අවදි කරන සෙයක් විය.
එහි දී ගායනා කරන කවි කීපයක් මට මතකයට නැඟේ.
පළමුව බුද්ධං සරණේ නම කර
දෙවනුව ධම්මං සරණේ නම කර
තෙවනුව සංඝං සරණේ නම කර
අඩිය ගසන්නට මිහිකත අව සර
එක පඳුරෙන් ලී සයක් කපා ගෙ න
එක උස සදෙනෙක් තෝරා ගෙ න
ගුරුන් අතට දී අවසර අරගෙ න
ඉතින් කෙළිමු ලී දෙ පිල බෙදාගෙන
සිංහල අවුරුදු කාලයට පිරිමින් සඳහා මෙන් ම කාන්තාවන්ට ද සුවිශේෂ වූ ක්‍රීඩා ඇත. මේ කොයි ක්‍රීඩාවේත්, ඇති වටිනාකම වැඩි සංඛ්‍යාවකට සහභාගි වී සතුට බෙදා ගන්නට හැකි වීමයි. ඒ නිසා කවුරුත් සහාය වෙති.
කාන්තාවන් අතර ජනපි‍්‍රය වූයේ කළගෙඩි සෙල්ලම, මේවර කෙළිය, ඔළිඳ කෙළිය, එළුවන් ගැනීම, රබන් වාදනය ආදියයි.
අලුත් අවුරුද්දේ වැඩ අල්ලා අනුභවය කළ පසු ඒ ගෙදරින් මේ ගෙදරට ද කෑම පිඟන් හුවමාරු කර ගත් පසු රබන් ගහන්නට ආරාධනා කරනු ඇත.
කැතරින් නැන්දේ, කැතරින් නැන්දේ රබන් පදයක් ගහමු ද?
රබන් ගහන්න කවුරු කවුරු ද ඉන්නේ
මාගරට් අක්කල, කුසුමාවතී අක්කල, චාලට් නැන්දල ඉන්නවා
එහෙනම් නංගියේ අපේ රබානත් අරගෙන එන්නම්
මං එහෙනම් ගිනි කබලකුත් ලෑස්ති කරනවෝ
කාන්තාවන් රබන් දෙක තුනක් ම ගෙන රබන් රඳවන ආධාරකය උඩ රබාන තබා ගිනි කබලෙන් රත් කර රබන් ගහන සිරියාව ගම පුරාම පැතිර ගියේ සතුට සහ සාමයයි.
පැලවත්තේ කැත්ත දොදොන්,
පිල වට කර කැත්ත දොදොන්
ලංසි ගෙදර බංකු කකුල,
මං යන කොට නිකන් කකුල,
උඩින් උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු
කොක්කු දෙබානක් ඇවිදින් පුත්තලමේ දොයි තවත් දෙබානක් ඇවිදින් අතර මගදි දොයි
කොකා කරපු නින්දාවට කෙකී ඇවිත් බොම්බායට - කෝ කොට කොක් කෝක් කොට කොක්
බොලන් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්න ටිකක් හිටපන්
ඉඳං ගොඩ තම්බි ටිකක් හිටපන් මටත් රෙදි ගන්න ටිකක් හිටපන්
ඔය ලොකු මල් රෙදි, ඔය පොඩි මල් රෙදි ඇත්ත කියා මට රියනක් දීපන්
බුදිද බුදිද බුදිද බන් පැදුර ගන්න නැඟිටපන් පැදුර දෙන්ට බැරිය බන්
කෙන්ඩ පෙරලිලා තක දොං කෙන්ඩ පෙරලිලා
වට්ටිත් පෙට්ටිත් දණ්ඩක බැදී ගෙන නංගී බලන්නට ගිංතොට යන කොට
කළු වැල්ලේ අය රබන් ගහන්නේ රීං රින්න කතෝරි රීං රින්න කතෝරිං
අපි දන්නේ නෑ ඔය සුරල් පදේ
එළුවන් ගැනීම, මේවර කෙළිය, ඔළිඳ කෙළිය, කළගෙඩි සෙල්ලම වැනි ක්‍රීඩා ඒ කාලයේ ඉඳහිට දක්නට ලැබුණ ද එළුවන් ගැනීම නම් හවස් කාලයේ දී ගෙවලවල මිදුලේ බාලිකාවන් එක් වී සෙල්ලම් කරනු දක්නට ලැබුණි. අද මේ ක්‍රීඩා අභාවයට නොගොස් නව නිර්මාණ ලෙස හෝ අපේ පාසල් පද්ධතියේ නැටුම් ගුරුවරියන් ඉදිරිපත් කිරීම කලා උලෙළවලදී දක්නට ලැබීම අප උරුම සංස්කෘතියක් සංරක්ෂණය කිරීමක්යැයි මට සිතේ.
අවුරුදු කාලයට ඈත පෙදෙස්වල ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතුවල නිරත වූවන් ද ගම්බිම් කරා පැමිණෙති. කොලු කාලයේ මිතුරන් එකතු වූ විට මැවෙන්නේ රස ගුලාවකි.
...... අයියේ, පොඩි සාජ්ජයක් දාමු ද?
යමං මස්සිනා අපේ ගෙදරට
මාස්ටර් තම සර්පිනාව ද, ජපන් මැන්ඩලිනයද, තබ්ලාව සහ ඩොලැක්කිය ද, බට නළාවද රැගෙන ලන්දේසි ක්‍රමයට තැනූ ගෙදර ලොකු ඉස්තෝප්පුවට එක් වෙයි. පැදුරුබිම එළා සාජ්ජය මහ ඉහළින් පටන් ගනී. ඒකාලයේ ජනපි‍්‍රය, කාටත් අහන්න හැකි ගීත ලස්සනට ගයන්නේ ගමේ කාගේ කාගෙත් සතුටට පත් කරවමිනි. මෙහෙම ගීත ගයන සාජ්ජ කාරයන්ට කැවුම්, කොකිස්, මුංගුලි, කෙසෙල් ගෙඩි යනාදිය අවට ගෙවල් වලින් දරුවන් අතේ කාන්තාවෝ එවති.
වැඩියෙන් ම මේ අය කැමති වන්නේ මයියොක්කා වේලා බැදපු කෑමටත්, දෙල්කූරු වියලා තෙල් දමා සාදන ලද කට ගැස්මටය. අපේ බෞද්ධ ගෙවල්වලට එදා මස්මාංශ කිසි විටෙක ගෙනාවේ නැත.
සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තෙල් ගාන නැකතෙන් නිම වෙයි. ගමේ වැඩිහිටියෝ රැකියා වලට යති. ගොවියෝ ගොවිතැන් වැඩ පටන් ගනිති. පාසල් දරුවෝ පාසල් යති. ගෙදර තනි වන ගෘහිණියෝ පොල් අත්තක්, පැදුරක්, මල්ලක්, මැහුමක් දෙකක් මහන්නට පටන් ගනිති. දිවා ආහාරය, රාත්‍රී ආහාරය තම දරුවන්ට හා සැමියන්ට සකස් කරන ගෙදර දොර අස් පස් කර දර දිය සපයා ගන්නා කාන්තාව මුළු ගෙදරට ම සිරියාව, ගෙන එයි.
තිස් අවුරුද්දක් දුක් සුසුම් ලා සැකෙන් බියෙන් අවුරුදු ගමන් ගිය කාලය නිමා විය. දැන් අපට සිත් සේ ගොවිතැනක් බතක්, රැකියාවක් කර ගෙන දරුවන්ට උගන්වා ගෙන ජාති ආගම් කුල භේද වලින් තොරව අවුරුදු සමරන්නට හැකි ය. මේ යහපත් වාසනාවන්ත කාලය ඉර හඳ පවතින තුරු ම අපේ රටටත් සමස්ත ලෝකයටත් අපි ප්‍රාර්ථනා කරමු.
විශ්‍රාමලත් විදුහල්පති

ඩී.සී.ද. සිල්වා